කොළඹ 3, වේල්ල වීදිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගේ පුද්ගලික මෝටර් රථයක් නාඳුනන පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමට උත්සහ කිරීමක් සිදුවී ඇතැයි කොටහේන පොලිසිය සඳහන් කරයි.පොලීසිය ප්‍රකාශ කළේ,
ව්‍යාපාරිකයෙක් තම ගැබිණි බිරිඳ සහ මව සමඟ ඔහුගේ මෝටර් රථයෙන් කොටහේන, වාසල පාරේ පිහිටි හෝටලයකට පැමිණ, බිරිඳ සහ මව රථයේ තබා තමන් හෝටලය තුළට ගිය අවස්ථාවෙහි මෙම සිදුවීම සිදු වූ බවය.
එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු රථය පැහැරගෙන පලා යාමට උත්සාහ කර ඇති අතර, ඒ වනවිට ඒ අසළට විමර්ශණයක් සදහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට අයත් උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිට ඇත.
නිලධාරින් විසින් රථය නවතා ගැනීම සඳහා සංඥා කළද, සැකකරු ඒවාට අවනත නොවී රථය පාලනය කරමින් පලාගිය අවස්ථාවේ, උප පොලිස් පරීක්ෂකවරයා සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි වාර දෙකක් එල්ල කර ඇත.
ඊට පසුව, පොලිස් නිලධාරින් පලායන රථය පසුපස හඹා ගොස් ඇති අතර, කොටහේන බ්ලූ මැන්ඩල් පාර අසලදී රථය නවතා දැමුණු බව සහ සැකකරු එම ස්ථානයෙන් පැන පලා ගොස් ඇති බවත් වාර්තා වේ.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරමින් පවතින බව පොලීසිය තවදුරටත් පවසයි.

Post a Comment