ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හවස කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි. ඊට කළින් එතුමා තමන්ගෙ කලිසම්, කමිස ටික හෝදලා එළියෙ රෙදි වැලේ දැම්මා. එළිපත්තේ ගොඩගැසුණු කිලිටි රෙදි ගොඩ හිස් වීම නිසා ජනාධිපතිතුමා හිටියෙ සැහැල්ලුවෙන්,
ජනාධිපති ආරක්ෂක බලකාය තම රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වී සිටිනවා. බලකායක් කිව්වට ඒකෙ ඉන්නෙ පොලිස් භටයන් දෙන්නෙක් විතරයි.
ජනාධිපතිතුමාගේ නිවසට හැරෙන පටු පාර ළඟ ඇති බස් හෝල්ට් එකේ වාඩි වෙලා සිගරැට්ටුවක් බොමින් ඔවුන් බලා සිටින්නේ ජනාධිපතිතුමාගේ පරණ Volkswagen කාර් එක පිටුපසින් පසු ගමන් අරඹන්න.
ජනාධිපතිතුමා හමු වීමට යන අයෙකුට අක්‍රමවත්ව තණකොළ වැවුණු මිදුලේ පරණ ට්‍රැක්ටරයක් නවතා තිබෙනවා දකින්න ලැබෙනවා. ට්රැක්ටරය කැඩුනාම බාස් කෙනෙක් නැතිව ඒක හදාගන්න ජනාධිපතිතුමාට පුළුවන්. ඒ ට්රැක්ටරය වගේම ගෙමිදුලේ පුංචි ගොවිපලත් ජනාධිපතිතුමා විසින් හොඳින් නඩත්තු කළා. ඒකෙන් එන ආදායමෙන් තමයි එතුමා සහ ආර්යාව දිවි ගැට ගහ ගත්තේ.
මොන්තෙවීඩියෝ නගරයට ඈතින් පිහිටි තම ආර්යාවට අයිති පිටිසර ගොවිපලේ පිහිටි කොළ පැහැති තහඩු සෙවිළි කළ කුඩා නිවසේ තමයි උරුගුවේ ජනාධිපතිවරයා ජීවත් වුණේ. කුඩා ගොවිපලත්, ට්රැක්ටරයත්, පරණ Volkswagen කාරයත් හැර වෙනත් කිසිඳු දේපලක් ඔහුට තිබුණේ නැහැ.
2010 වර්ෂයේදී,රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කරන්නන්ගේ වත්කම් ප්රකාශනය එළිදැක්වීමේදී නිලධාරීන් දැඩි ලෙස වික්ෂිප්ත වී ගියා. හොසේගේ වත්කම් ප්‍රකාශයේ සදහන් කිරීමට තිබුණු එකම වත්කම ඇ.ඩොලර් 1,800 ක ක්ෂය වටිනාකමක් සහිත Volkswagen මෝටර් රථය පමණයි.
උරුගුවේ හිටපු ජනාධිපති හොසෙ මුජිකා ලෝකයා විසින් හඳුනා ගන්නේ ලොව දුප්පත්ම ජනපති ලෙසයි. ඔහුට උරුගුවේ ජනතාව ආදරයට ඇමතුවේ පෙපේ (El Pepe) කියලා.
හොසෙ මුජිකා හෙවත් එල් පෙපේ උපන්නේ 1935 දී. පියා දුප්පත් ගොවියෙක්. බංකොලොත් වූ ගොවියෙක් ලෙස පියා මියයන විට හොසේගේ වයස අවුරුදු පහයි.
හැටේ දශකයේ අග භාගයේදී තරුණ හෝසෙ MLT-Tupamoros නම් ගරිල්ලා සංවිධානයක සාමාජිකයෙක් වුණා. MLT-Tupamoros කියන්නේ කියුබානු විප්ලවයෙන් පන්නරය ලැබූ වාමාංශික සංවිධානයක්. හොසේව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණියා.
දැඩි සටනකින් පසු ඔහු අත්අඩංගුවට පත් වන විට හොසේගේ සිරුර තුළට වෙඩි උණ්ඩ හයක් ඇතුළු වී හමාරයි. තුවාල සුවපත් වූ පසු හොසේ හිර ගෙදරින් පැන ගියේ උමඟක් කපාගෙන. නැවත නැවතත් හිර ගත වූ හොසේ හිර බත් කෑ අවුරුදු 14 තුළ හතර වතාවක්ම පලා ගියා.
1985 දී මේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයට ප්රජාතන්ත්රවාදය උදා වුණා. ඒ සමඟ නිදහස ලැබූ හොසේ මුජිකා ප්රජාතන්ත්රවාදී දේශපාලන ප්රවාහයට එක් වුණා. 2010 වන විට ඔහු උරුගුවේ ජනාධිපතිවරයා බවට පත්වුණා. ඔහු 2015 දී විශ්‍රාම යන තුරුම රට පාලනය කළේ පෙර කියපු පිටිසර ගොවිපළේ සිට.
එල් පෙපේ අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් ගැනවත් අහල තිබුණු කෙනෙක් නෙවෙයි. එතුමා දුප්පත් කිව්වට ජනාධිපතිවරයා ලෙස ඔහුට ලැබුණු මාසික වැටුප ඇමෙරිකානු ඩොලර් 12,000 ක්.
එහෙනම් කොහොමද උන්නැහේ දුප්පත් වුණේ.
ඔහු තමන්ට ලැබෙන මාසික වැටුපෙන් 90% ක් ම ආපසු දුන්නේ ජනතාවගේ සුබ සිද්ධියට. ඒ මුදල මාස් පතා බෙදී යන්නේ අඩු ආදායම් ලාභීන් සහ කුඩා ව්‍යාපාර හිමියන් අතර. එල් පෙපේ තමන්ට ජීවත් වීමට අතට ගත්තේ පඩියෙන් 10% යි. ඒ කියන්නේ උරුගුවේ ජාතිකයෙකුගේ සාමාන්‍ය ආදායම. ආර්යාවගේ වියදම සරි කර ගන්න ගොවිපළ ප්‍රමාණවත් වුණා.
අගනුවර පිහිටි සුඛෝපභෝගී ජනාධිපති මන්දිරය ප්‍රතික්ෂේප කළ එල් පෙපේ පිටිසරට ගොස් ගෙවල් කීපයක් එකතු කර මන්දිරයක් හදාගත්තෙ නැහැ.
ලොව ජනාධිපතිවරුන්ගේ මන්දිර ඉදිරිපිට සාමාන්‍යයෙන් ඇති කැඩිලැක්, මර්සිඩීස් බෙන්ස්, ජගුවාර් වැනි සුඛෝපභෝගී වාහන එල් පෙපේගෙ නිවස අසළ නවතා තිබුණේ නැහැ. ඔහුට වෙනම රියදුරෙකුත් නැහැ. තනිවම පදවා ගෙන යන පරණ වොක්ස්වැගන් මෝටර් රථයෙන් තමයි ජනාධිපතිවරයා රාජකාරී කටයුතු වලට ගියේ.
පස්සෙ කාලෙක මේ පරණ කාර් කට්ටට අරාබියේ ෂෙයික් වරයෙකුගෙන් හොඳ ඔෆර් එකක් ලැබුණා. ඔහු ඩොලර් මිලියනයකට මේ මෝටර් රථය මිල දී ගන්න උත්සාහ කළේ එය ජනාධිපතිවරයෙකුගේ වාහනයක් නිසා. එසේ නොවුණා නම් මේ පරණ වාහනය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකක් විතර වෙයි.
එල් පෙපේ ටික දවසක් කල්පනා කරලා වාහනය ඉහළ ඉල්ලුමට විකුණන්න තීරණය කළා. එයින් ලැබුණු මුදලත් ඔහු ජනතාවට ම ලබා දුන්නා.
අවුරුදු 75 දී උරුගුවේ ජනාධිපතිවරයා වූ එල් පෙපේට රකින්නට පරම්පරාවක් හිටියේ නැහැ. ඔහුට දරුවන් හිටියෙ නැහැ.
නිවස තුළ සහ ගෙවත්තේ ආරක්ෂාවට ඉන්නේ උරුගුවේ ජනාධිපතිවරයාගේ කලණ මිතුරා වන මැනුවෙල් නම් වූ බලු සුරතලා පමණයි. ඒ බලු සුරතලාටත් ඇත්තේ කකුල් තුනයි. මේ කකුල් තුනේ ආබාධිත ‘මැනුවෙල්’ උරුගුවේ ජනතාව අතර හරිම ජනප්‍රියයි.
හොසේ පවසන පරිදි ලෝකයේ අවසාන දවස උදාවූවත් දේශපාලකයන්ගේ ධන තණ්හාව නම් නිමා වන්නේ නැහැ. එහෙම ලෝකයක හොසේ මුජිකා කියන්නේ පුද්ගලයෙකුට එහා ගිය ඇත්තටම දේශපාලන න්‍යායක්.
දුප්පතුන් වෙනුවෙන් විප්ලව කළ ඔහූ ජනාධිපති වීමෙන් පසුවත් එම වැඩපිළිවෙළම ගෙන ගියා. කීර්තියේ හිනිපත්තේ සිටියදී ඔහු 2015 දී ජනාධිපතිධූරයෙන් විශ්‍රාම ගියා. අදත් ඔහු තම පිටිසර ගොවිපළේ සතුටින් ජීවත් වෙනවා. අත් හැරීම කුමක්දැයි පූජකයන්ට පවා ඉගෙන ගත හැකි ආගමක් තමයි හොසේ මුජිකා කියන්නේ.
ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස තමන්ව හංවඩු ගහනවාට උරුගුවේ ජනාධිපතිවරයා අකමැතියි.
“මගේ ජීවිතේ වැඩි හරියක් මම ජීවත් වෙලා තියෙන්නේ මේ විදියට. තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.”
ඇත්තටම හොසේ මුජිකා කියන්නේ ලොව පොහොසත්ම ජනාධිපතිවරයා කිව්වොත් නිවැරදියි.
Post a Comment