බිලියන 158න් හදන්න ගිය පාරට බිලියන 360ක්
බැංකු පොලිය සහ සමාගම් වන්දිය ලෙස රුපියල් බිලියන 46ක් ගෙවන්න වෙයි
මධ්‍යම අධිවේගයෙන් තවමත් විවෘතකොට ඇත්තේ එක කොටසයි
පොතුහැර – ගලගෙදර කොටසිනුත් හදන්නෙ භාගයයි
දඹුල්ල – කුරුණෑගල ගැන කතාවක්වත් නැහැ
රටක සංවර්ධනයේ මූලික අඩිතාලම වැටී ඇත්තේ එම රටේ පවතින මහා මාර්ග පද්ධතිය මතය. දියුණු මහා මාර්ග පද්ධතියක් පවතී නම් සෑම ක්ෂේත්රයක්ම සීග්‍රයෙන් දියුණු වන බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම මාර්ග පද්ධතිය ඉදිවිය යුත්තේ අදට පමණක් නොව මතු අනාගතයටද ගැළපෙන ලෙසිනි. අපේ රටේ කොතෙකුත් මාර්ග පැවතුණත් අධිවේගී මාර්ගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අධිවේගී මාර්ග මුලින්ම මෙරට තුළ ස්ථාපිත කරන අවදියේ ඊට යම් පිරිසකගෙන් විරෝධයක් එල්ල වුණත් අද සෑම කෙනෙක්ම ඉන් පල ප්‍රයෝජන ලබන බව කිව යුතුමය.
මෙරට මුලින්ම අධිවේගී මාර්ග පිළිබඳ කතා බහ ඇතිවූයේ රනිල් – චන්ද්‍රිකා ආණ්ඩු සමයේය. ඒ 2002 වසරේදීය. එදවස මුලින්ම ඉදිකිරීමට යෝජනා වූයේ කොළඹ නුවර අතර අධිවේගී මාර්ගයකි. කෙසේ හෝ ආණ්ඩු පෙරළියක් සමග ඒ සියල්ල යට ගොස් මහින්ද රාජපක්ෂ සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවිණි. එහි දිගුවක් ලෙස මත්තල ප්‍රදේශයටත්, පිටත වටරවුම් මාර්ගයත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයත් ඉදිවිණි. අධිවේගී මාර්ග ජාලය තවත් පුළුල් වෙමින් මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතුද සැලසුම් කෙරිණි.
ආණ්ඩු මාරුවෙන් වෙනස් වූ අධිවේගී මාර්ග
2014 වර්ෂයේ දෙසැම්බර් 14 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර අධිවේගී මාර්ගය සඳහා සෙංකඩගල පිවිසුමට මුල්ගල තබා වැඩ ආරම්භ කළේය. නමුත් 2015 වසරේ බිහි වූ යහපාලන ආණ්ඩුව විසින් කලින් සැලසුම වෙනස් කරමින් එහි නාමය මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නම් කරමින් යළිත් වතාවක් 2017 වසරේ පෙබරවාරි මාසයේදී මුල් ගල තබන ලදී. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් කොට තිබුණේ අධිවේගී මාර්ගයේ සියලු වැඩකටයුතු 2018 වන විට අවසන් කරන්නටය. නමුත් ආණ්ඩු මාරුවත් සමඟ සංවර්ධනය එහෙම පිටින්ම අඩාල විණි.
2017 වසරේ මුල්ගල් තබන අවස්ථාවේ සැලසුම් කොට තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගය වසර දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළ වැඩ නිම කර ජනතා අයිතියට පත් කරන්නටය. ඉක්මනින් වැඩ කටයුතු නිම කළ යුතු නිසාම මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් හතරකට බෙදා එක් එක් කොටස එක් එක් සමාගම්වලට පවරා දුනි. පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා කිලෝ මීටර් තිස් හතකුත් දෙවැනි කොටස මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 39.29 කුත් තුන්වන කොටස පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32ක් සහ ඊළඟ කොටස කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3 ලෙසත් ඉදිකිරීමට සැලසුම් කර තිබිණි.
පළමු කොටස ඉදිකිරීම අදියර දෙකකින් සිදු කිරීමට නියමිතව තිබිණි. පළමු අදියර කිලෝමීටර පහක් වන අතර ඉතිරි දුර රුපියල් මිලියන 168.5ක වියදමින් නිම කළ යුතු වුවද එහි වියදම අඛණ්ඩව ඉහළ යමින් තිබේ. පළමු කොටස චීන එක්සිම් බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වයෙන් චීන සමාගම් විසින් ඉදිකිරීමට සැලසුම් කළ අතර දෙවන කොටස දේශීය කොන්ත්‍රාත්කරුවන් දේශීය ඉංජිනේරුවන් දේශීය උපදේශකවරුන් සහ දේශීය බැංකුවලින් ලබා ගත් ණය වලින් ඉදිකිරීමට සැලසුම් කෙරිණි.
පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු කොටස පොතුහැර සිට රඹුක්කන දක්වා දිවෙන අතර එම කොටස ලබන වසරේ විවෘත කිරීමට නියමිතය. නමුත් රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩකටයුතු තවමත් ආරම්භ කොට නැත. ඒ පිළිබඳව නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා කීවේ “ඒක එතනින් නවත්තලා වැඩක් නැහැ රඹුක්කන ඉඳලා ගලගෙදර කෑල්ල හැදෙන්න ඕනේ. ඒ කෑල්ලේ ඉඩම් අත්පත් කර ගැනීම සම්පූර්ණයෙන් ම අවසන්, අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක, තුන ඇතුළත ටෙන්ඩර් කැඳවන්න,” යනුවෙනි.
“දැනට පවතින තත්ත්වය අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ජාතික සැලසුමේ ඇති කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටස ඉදිකිරීමට මුදල් වෙන් කිරීමේ හැකියාවක් නැහැ.”
ඒ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටස පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා පැවසූ කතාවයි. ඔහු එම කොටස පිළිබඳ මෙහෙම කතාවක්ද කීවේය.
“ඒ කොටසට අධිවේගී මාර්ගයක් ඕනෙ ද, පාර පුළුල් කරලා ලේන් 4ක් වගේ දාලා, ඊට වඩා ලාභදායී ද කියලා බලන්න ඕනේ. ඒ කොටස ගැන නැවත සලකා බැලීමක් කරනවා. මේ අවුරුදු දෙකේදී නැවත මුදල් වෙන්වීමක් වෙන්නේ නැහැ.” යනුවෙනි.
අග මුල නැති අධිවේගී මාර්ගය
කෙසේ වෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ අගත් මුලත් නැතිමුත් මැද කොටස නම් විවෘත කොට ඇත. ඒ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසයි. එම කොටස විවෘත කරනු ලැබුවේ 2022 වසරේ ජනවාරි මස 15 වැනිදාය. ඒ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. දෙවැනි කොටස විවෘත කළත් පළමු කොටසේ වැඩකටයුතු දැන් වසර අටකට ආසන්න කාලයක් ගතව ඇතත් තවමත් අවසන්ව නැත. මෙම මාර්ගය තවමත් සැලකෙන්නේ ඉදිකරමින් පවතින මාර්ගයක් වශයෙනි.
පළමු කොටසේ වැඩ කටයුතු භාරව කටයුතු කළේ චීන ජාතික සමාගම්ය. ඔවුන් කොරෝනා වසංගතය හා රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දමා පිටත්ව ගියේය. ඒ රට යළි ප්‍රකෘති තත්ත්වයට පත් වූ පසු යළි වැඩ කටයුතු ආරම්භ කරන බව පවසමිනි. නමුත් අදටත් එහි වැඩකටයුතු ආරම්භ කර නැත. පළමු කොටස කඩවතින් ආරම්භ වන අතර එහි හමුවන මුල්ම අන්තර් හුවමාරුව ගම්පහය. එම කොටසේ තවමත් ඇත්තේ විශාල පස් කඳු වැටිවලින් සැකසුනු මාර්ගයක් සහ චීන ජාතිකයන් භාණ්ඩ ප්‍රවාහනයට සකස් කළ බොරලු පාරවල් පමණි. පැය හතරෙන් හම්බන්තොට සිට මහනුවරට යන්නට පෙරුම් පිරූ ජනතාවට දැන් සිදුව ඇත්තේ හම්බන්තොට සිට කඩවතට අධිවේගී මාර්ගයේ පැමිණ එතැන් සිට සාමාන්‍ය මාර්ගය ඔස්සේ ගමන් කළ යුතුය. අධිවේගයෙන් නුවර යෑම සිහිනයක් පමණක් වී ඇත.
වැඩි වුණු වැය බර
මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් වැඩ නිම කිරීමට රුපියල් බිලියන 158.385ක් වැයවනු ඇතැයි ගණන් බලා තිබිණි. ඒ මීට දශ වර්ෂයකට පෙර ගණන් බැලීම්ය. දැන් අවුරුදු 10ක් තිස්සේ ඉදිකිරීම් ප්‍රමාදවීම හේතුවෙන් ඉදිරි වසර 4ක කාලය තුළ මෙම මාර්ගය අවසන් කිරීමට දළ වශයෙන් රුපියල් බිලියන 360ක පමණ මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසා තිබේ.
කොරෝනා වසංගතය සහ මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය වැනි කරුණු නිසා ඉදිකිරීම් නතර කිරීමට සිදුවීම හේතුවෙන් බැංකු පොලිය සහ සමාගම් වන්දිය ලෙස රුපියල් බිලියන 46ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව පසුගියදා මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ බිමල් රත්නායක මහතා පැවසීය.
එසේම කලින් තෝරාගත් විදේශීය සමාගමට ගෙවිය යුතු වන්දි දිනකට රුපියල් මිලියන 21කින් එකතු වෙමින් පවතී. ඒ ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් නොපැවතීම නිසා යන්ත්‍ර සහ උපකරණ අක්‍රියව පැවතීම හේතුවෙනි.
මේ අතර ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පැවසුවේ චීන එක්සිම් බැංකුව සහ ඉදිකිරීම් භාර චීන සමාගම සමග සාකච්ඡා කර ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට හෝ ගිවිසුම අලුත් කර නැවත වැඩ ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර මෙන්ම ආණ්ඩු බලය ලබාගත් විගසම මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් අවසන් කරන බව පැවසුවත් දැන් කියන්නේ ඒ සඳහා තවත් වසර පහක පමණ කාලයක් ගතවන බවයි.
මාර්ගයේ වැඩකටයුතු මග නතර වී වසර හත අටකට ආසන්න කාලයක් ගතවී ඇත. වසරකට දෙවතාවක් වැපිරූ සරුසාර කුඹුරු සමතලා කොට ඒ මත වසර ගණනක් පුරා නිකරුණේ පස් ගොඩගැසී ඇත. ආණ්ඩුව කියන තරම් ඉක්මනට සංවර්ධන කටයුතු සිදුවන බවක් පෙනෙන්නට නැත.
මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 5,000ක් වෙන් කර තිබේ. මුදල් වෙන්කර ඇත. මැති ඇමැතිවරු නිරීක්ෂණ චාරිකාවල නිරත වේ. නමුත් සංවර්ධන කටයුතු පමණක් එකතැන නතර වී තිබේ. ජනතාව අලුත් ආණ්ඩුව පත්කරගත්තේ මෙවැනි සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකිරීමට සහ එවැනි කටයුතු සිදුකිරීමේදී වංචාව දූෂණය අවමවනු දැකීමේ බලාපොරොත්තුවෙනි. වත්මන් ආණ්ඩුව පත්වී මාස හයකට අධික කාලයක් ගතවී ඇතත් අධිවේගී මාර්ගයේ කටයුතු ආරම්භ නොකරන්නේ කලින් ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් වෙනස් කොට අලුත් සැලසුමකට අනුව කටයුතු කිරීමේදී කොමිසු මුදල් ලබාගැනීමේ අරමුණින්දැයි ජනතාව ප්‍රශ්න කරති.


Post a Comment