හිරේ විලංගුවේ වැටුණු දේශපාලනඥයෝ
ආර්ථික අර්බුදයට පත්ව, බංකොලොත් රාජ්‍යයක් බවට පත්වෙමින් ලෝකය ඉදිරියේ විදේශීය ණය පවා ලබාගත නොහැකි මට්ටමට පත්වූයේ මෙවන් වූ වංචා, දූෂණ, අක්‍රමිකතා හේතුවෙන් වන්නට බැරි ද? මෙවැනි ක්‍රියාකලාපයන් තවදුරටත් දිගින් දිගටම සිදු වූවා නම් රටක් ඉතිරි වේද යන්න රටට ආදරය කරන ජනතාව නගන පැනයයි.
“කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් වැඩිවෙයි ගිනි සේ”
මේ දිනවල සැමගේ මුවගට එන්නේ ලෝවැඩ සඟරාවෙහි කවි දෙපදයකි. ජනතා බලය අයුතු ලෙස යොදා ගනිමින් එය තමාට ලැබුණු මහා වරප්‍රසාදයක් සේ සලකමින් මුදල් හා රාජ්‍ය දේපළ අවභාවිත කළ දේශපාලනඥයෝ අද සිටින්නේ කොතැන ද?
ඔවුන් හා එකඟව තම සාක්කු පුරවාගත් උසස්වීම් ලබාගත් හෝ විවිධ වරප්‍රසාද ලබාගත් රාජ්‍ය නිලධාරීන්ට මේ අත්වෙමින් තිබෙන්නේ මොන වගේ ඉරණමක් ද?
අසාධාරණයට සැමදා වේදිකාවල පිනුම් ගැසිය නොහැකිය. වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන දිනයක් සොබාදහම විසින් හෝ නිර්මාණය කර දෙනවා නිසැක ය.
නව රජයෙන් ජනතාව අපේක්ෂා කළේ යුක්තිය හා සාධාරණත්වයයි. නීතිය ඉදිරියේ සියල්ලෝම එක හා සමානයි.
දේශපාලන බලය අබිමුව වසර ගණනාවක් පුරා යටගැසුණු නඩු හා බලපුළුවන්කාරකමින් නීතිය නොතකා කළ සෑම ක්‍රියාකාරකමක්ම අද වනවිට නීතිය ඉදිරියේ විනිශ්චය අපේක්ෂාවෙන් සිටියි.
බාල බෙහෙත් ගෙන්වා ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කළ අය, අයථා ගනුදෙනු හා ව්‍යාජ ලේඛන සකසා ඉඩම් හා දේපළ පවරාගත් අය, මැතිවරණ ප්රචාරක කටයුතුවලට රාජ්‍ය මුදල් වැය කරමින් තෑගි බෝග ප්රදානය කර නඩු පැවරුණු හා සිරබත් කෑමට ලක්වුණු අය මේ අතර ය.
රටේ දේශපාලන බලය අයුතු ලෙස යොදා ගනිමින් සිදු කළ ක්‍රියාකලාපයන් හමුවේ රටම තිගැස්සුණු නඩු තීන්දු ගණනාවක්ම මෑතක දී අසන්නට ලැබිණි.
Post a Comment