වසර විසිපහකට වැඩි කාලයක් සහජීවනයෙන් යුගදිවිය ගත කළ යුවළක් එකම දවසේ අවසන් ගමන් ගොස් එකම වළක මිහිදන් වූයේ සසරේ පැතූ ආකාරයටම විය හැකිය. මේ දුක්බර කතාව වාර්තා වූයේ පස්යාල, රදාවඩුන්න ගම්මානයෙනි.
මෙසේ අවසන් ගමන් ගියේ පස්යාල, රදාවඩුන්න පදිංචිව සිටි වේවැල් කර්මාන්තකරුවකු වූ 58 හැවිරිදි ආර්. කේ. නාමල් කුමාර සහ ඔහුගේ බිරිය වන 60 හැවිරිදි දුලානි සමරනායකයි. මොවුන්ට සිටියේ එක් පුත්‍රයෙකි.
උපතින්ම හදවතේ සිදුරක් ඇතිව ජීවත් වූ මිය ගිය දුලානි ජීවිත කාලය පුරාවටම ඖෂධ ලබාගෙන ජීවත් විය. හදවත් රෝගියකු බව දැන සිටියත් දුලානි සමඟ ආදරයෙන් වෙළුණු නාමල් ඇය විවාහ කර ගත්තේ තම ජීවන ගමන යෑමට සුදුසුම සහකාරිය ඇය වන නිසා විය යුතුය. ආදර සම්බන්ධයකින් දුලානි සහ නාමල් විවාහ දිවියට ඇතුළු වන්නේ දෙපාර්ශ්වයේම ආශිර්වාදයෙනි.
විවාහ වූ දා පටන් මේ දෙදෙනා ඉතා සතුටින් එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරමින් ආදරණීයව ජීවිතය ගත කළ යුවළක් බව ප්‍රදේශවාසීහු සඳහන් කළේ වත්මන් සමාජයේ පවතින පවුල් ආරවුල් සිහිපත් කරමිනි.
නාමල් පවුල රැකගැනීමට වේවැල් භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවි කළ අතර, ඒ සඳහා දුලානිගෙන් ලැබී ඇත්තේ නොමඳ සහායකි. ඉකුත් දිනෙක දුලානි හදිසියේ අසනීප වූයෙන් ඇය වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කළාය. දුලානිව පරීක්ෂා කළ වෛද්‍යවරුන් නාමල්ට පවසා ඇත්තේ තව සතියක් පමණ යන විට ඇය මෙලොව හැර යනු ඇති බවයි. ඒ තරමට ඇගේ හදවත දුර්වල බව වෛද්‍යවරුන්ගෙන් දැන ගත් නාමල් කල් ගත කර ඇත්තේ දැඩි වේදනාවකිනි. තමන් සමඟ සංසාර ගමනේ එකට පැමිණි සිය බිරිය තව දින කිහිපයකින් තමන් තනිකර යන බව දැනගත් මොහොතේ සිට නාමල් දැඩි කම්පනයට පත්ව ඇත. මේ සිද්ධිය සම්බන්ධව පවුලේ කිසිවකුත් දැනුම්වත් නොකිරීමට නාමල් අදහස් කළත්, අවසානයේ පවුලේ ඥාතියකුට මේ බව පැවැසීමට ඔහු තීරණය කළේය.
දුලානි රෝහලෙන් ටිකට් කපාගෙන නිවෙසට පැමිණි අතර, නාමල් ද හදිසියේම රෝගාතුර විය. ඔහුට අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් දුන්නද සියලූම උත්සාහයන් ව්‍යර්ථ කරමින් නාමල් සදහටම නෙත් පියාගත්තේ සිය බිරිය නොමැති ලොවක තනියම සිටීමට නොහැකි බව පසක් කරමිනි.
හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය නාමල්ගේ නිසල දේහය නිවෙසට රැගෙන ආව ද දේහය තැන්පත් කළේ කොළඹ නුවර පාර අද්දර වූ ‘අපේ කඩේ’ නම් ස්ථානයේය.
දැඩි ලෙස ශෝකාකූල වූ නාමල්ගේ බිරිය එම ශෝකය යටපත් කරගෙන නාමල්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි සියලු හිතමිත්‍රාදීන් පිළිගනිමින් ඔවුන්ට කතාබහ කිරීමට අමතක නොකළාය. එය එසේ සිදු වෙද්දී නාමල්ගේ බිරිය යළි අසනීප වූවාය. ඇය වරකාපොළ මූලික රෝහලට රැගෙන ගිය ද ඇගේ ජීවිතය බේරා ගැනීමට කිසිවකුටත් නොහැකි විය. ඇය ද සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ගෙන් සමුගෙන සදහටම දෙනෙත් පියාගත්තාය.
වසර ගණනක් ජීවිතයේ දුක සැප බෙදාගත් ආදරණීය ස්වාමිපුරුෂයා සමඟම ඇය ද අවසන් ගමන් යෑමට තීරණය කළා විය හැකිය. මේ යුවළගේ දේහයන් එකම ගොඩනැඟිල්ලක එකටම තබා එකම දිනෙක මිහිදන් කිරීමට ඥාතීන් විසින් තීරණය කරන ලදී. ඒ අනුව ඉඹුල්ගස්ඕවිට පොදු සුසාන භූමියේදී දෙදෙනාගේම දේහයන් ඉකුත් සති අන්තයේ එකම වළක මළ හිරු රැස් බැසයන මොහොතක මිහිදන් විය.
දුලානි සහ නාමල් විවාහ වූයේත්, එකම පුත්‍රයා ඉපදුනේත්, මේ යුවළ මියයෑමෙන් පසු දේහයන් තැන්පත් කළේත් එකම ගොඩනැඟිල්ලක වීම සුවිශේෂත්වයක් බව ඥාතීහු සඳහන් කළහ.
කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර
Post a Comment