හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරේ අවුරුදු 2ක් තුළ සිය වැටුපෙන් හා ඉපැයිම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදලක් වැය කොට ඉතා ඉහළ වටිනාකම්වලට ඉඩකඩම් සහ අධිසුඛෝපභෝගී වාහන කිහිපයක් මිල දී ගැනීම සහ මුදල් භාවිත කිරිම ඇතුළු චෝදනා යටතේ එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පෙරේදා(27) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවා.
2010 මාර්තු මස 31 වන දා සිට 2012 මාර්තු 31 වන දා දක්වා කාලය තුළ හිටපු අමාත්‍යවරයා විසින් සිය නීත්‍යනුකූල ආදායම් අභිභවමින් මෙම මුදල්, දේපළ ඉපයීම මත ඔහුට අධි චෝදනා ගොනුකොට තිබෙනවා.
ඒ අනුව, කොළඹ – 07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිල දී ගැනීම සඳහා හත්කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් වැය කිරීම, කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීම සඳහා එක්කෝටි තිස්නව ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කිරීම මෙන් ම ඔහුගේ පුත් මාලක සිල්වා වෙනුවෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් මිල දී ගැනීම සඳහා තුන්කෝටි විසිතුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් වැය කිරීම, තම පරිහරණය වෙනුවෙන් තුන්කෝටි විසිතුන් ලක්ෂයක් වැය කර බෙන්ස් කාර් රථයක් මිල දී ගැනීම, ඩිස්කවර් ස්පෝර්ට්ස් වී 8 ජිප් රථයක් මිල දී ගැනීම සඳහා රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වැය කිරීම, හයිහුන්ඩායි මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස් පහකට අධික මුදලක් ඇතුළු මුදල් වැය කිරීම අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව ගොනුකර ඇති අධිචෝදනායි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායකගේ අත්සනින් යොමුකර තිබූ එම අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකාර මර්වින් සිල්වාට එරෙහිව එකී චෝදනා සනාථ කිරීමට පැමිණිල්ල සාක්ෂිකරුවන් විශාල පිරිසක්ද නම් කර තිබෙනවා.
රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල පවත්වාගෙන ගිය ගිණුම් 48ක් මගින් එකී දේපළ, යාන, වාහන මිල දී ගැනීම, ඇතැම් බැංකුවලින් ලබාගත් ණය පියවීම සඳහා මුදල් වැය කිරීම එලෙස මිල දී ගත් දේපළවල හිමිකාරීත්වය දැරීම, එකී මුදල් සහ මුදල් නොවන දේපළ අල්ලස් පනතේ 23 (අ)1වගන්තිය යටතේ අල්ලස්වලින් හෝ අල්ලස්වලින් අත්පත් කරගත් යම් දේපළවලින් පරිවර්තනය කර ඇති දේපළ ලෙස සලකනු ලබනවා. ඒ අනුව අල්ලස් පනතේ 23(අ) 3 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කර ඇතැයි ද එමගින් චෝදනා නඟා තිබෙනවා.
Post a Comment