උපකාරක පන්ති ගුරුවරියක් පෞද්ගලික අවශ්‍යතා සඳහා පොලිස් මෝටර් සයිකල් සහ මෝටර් රථ භාවිතා කර ඇති බවට පළවන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් සඳහා පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නමැති ගුරුවරිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයකදී පොලිස් පරිවාරක රථ සහ මෝටර් බයිසිකල් සහිතව පැමිණි බව වාර්තා වේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා ඇත්තේ,
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. අදාළ ගුරුවරිය විසින් තම පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ අරමුණින් පොලිස් සම්පත් අනිසි ලෙස භාවිතා කර ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටී.
එවැන්නක් කිසිවෙකුට පුද්ගලිකව මුදල් ලබාදී හෝ සිදුකිරීමට පොලිසියේ ප්‍රතිපාදන නොමැති බවත්, මෙය සිදු කළේ කෙසේද යන්න ගැන සොයා බලමින පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
“ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල” නමින් අප්‍රේල් 17 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති ඇගේ උත්සවයේ සජීවී විකාශනයක් හරහා මෙම සිද්ධිය අනාවරණය වී ඇත. එම උත්සවයේ අවස්ථා කිහිපයක් සජීවීව විකාශය වූ වීඩියෝ දර්ශනවල පැහැදිලිව පෙනී ගොස් ඇත්තේ, අදාළ ගුරුවරිය සම්මන්ත්රණ ශාලාවට පැමිණීමේදී ශ්‍රී ලංකා පොලිසියේ මෝටර් බයිසිකල් හතරක් සහ තවත් පොලිස් පරිවාරක මෝටර් රථයක් මගින් විශේෂ ආරක්ෂාවක් සැපයූ බවයි.
මෙම ගුරුවරිය රේන්ජි රෝවර් වර්ගයේ ජීප් රථයකින් උත්සවයට පැමිණ ඇති අතර, ඇය සම්මන්ත්රණ ශාලාව වෙත ඇතුළු වීමට පෙර හෙලිකොප්ටරයක් ආධාරයෙන් මල් වැස්සක් ඇද හැලීමටද සලස්වා තිබේ. මෙම සුවිශේෂී පිළිගැනීම් පිළිවෙත සහ පොලිස් ආරක්ෂාව සාමාන්‍ය පුද්ගලයෙකුට ලබා ගත හැකි ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න මතු කොට තිබේ.
මෙම සිද්ධිය සමාජ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග, රාජ්‍ය සම්පත් පුද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මහජන විවේචන දැඩි ලෙස ඉදිරිපත් වෙමින් පවතී.
2024 වසරේ ‘බිස්නස් වර්ල්ඩ් ඉන්ටර් නැෂනල් සම්මාන’ නමින් APLA නමැති පුද්ගලික සරසවියක් පවත්වනු ලැබූ උත්සවයකදී හයේෂිකා ප්‍රනාන්දුට සම්මානිත ආචාර්ය උපාධියක් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ අතින් ප්රදානය කෙරී ඇති අතර එතැන් පටන් ඇය ‘ආචාර්ය හයේෂිකා ප්‍රනාන්දු ‘ නමින් සිය නම වෙනස් කරගෙන ශිෂ්‍යත්ව පන්ති සඳහා ප්‍රචාරණ සිදුකරමින් සිටී.
උපකාරක පන්ති ගුරුවරිය සිය ප්‍රතිරූපය නැංවීමට පෞද්ගලික අවශ්‍යතා සඳහා පොලිස් මෝටර් සයිකල් සහ මෝටර් රථ භාවිතා කර තිබීම ගැන පරීක්ෂණයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා ඇත.
පොන්න පොලිස්
ReplyDeletePost a Comment